Tuesday, November 26, 2013

ශකිලා අනියම් සැමියා අතින් මැරුම් කෑ හැටි

රත්තරන්
බඩුයි
සල්ලියි
අරගෙන
මං එයාව
මැරුවා……

ශකිලා යනු තරමක් යහමින් සල්ලි භාගේ තිබුණු තැනැත්තියකි. පිරිමි දරුවන් දෙදෙනකුගේ මවක වූ ඇයගේ ස්වාමිපුරුෂයා වූයේ මොරටුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි.
තම ස්වාමිපුරුෂයාගේ විවිධ වූ නොගැළපීම් හමුවේ කසාදය කටුගා දැමීමේ දැඩි තීරණයකට ඇය පැමිණියේ දරුවන් දෙදෙනා ද උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට පිටත් කර යැවීමෙන් අනතුරුව ය. ඒ අනුව  2000 වසරේ දී ඇය සැමියාගෙන් දික්කසාද සහතිකයට අස්සන ලබාගෙන ඔහුගෙන් වෙන් වී හුදෙකලා ජීවිතයකට මං විවර කර ගත්තා ය.
තම පුතණුවන් දෙපළගේ ඕනෑ එපාකම් සොයා බලන ගමන්ම ඇය ද විදෙස් ගතවීමට තීරණය කළේ අනාගතයේ දී ඔවුන් දෙදෙනා වෙනුවෙන් කළ යුතු යුතුකම් හා වගකීම් සියල්ල අඩුපාඩුවක් නොවී ඉටුකිරීමට එම තීරණය අවස්ථාවක් වේ යැයි සිතමිනි.
ඇය 2003 වසරේ මිල්ලේ සොයා පිටත් වූයේ පුතුන් දෙදෙනාට ද ඒ බව දැනුම් දෙමිනි. එම වසරේ මාස 09ක පමණ කාලයක් ඉතාලියේ රැකියාව කිරීමටත් අනෙක් මාස තුනේ දී ලංකාවට පැමිණීම ඈ පුරුද්දක් කරගෙන සිටියා ය.
ඉතාලියේ කළ රැකියාවෙන් සිය ආර්ථික මට්ටම තව තවත් ශක්තිමත් කරගත් ශකිලා 2004 වසරේ නැවත ලංකාවට පැමිණියා ය. ඇය දන්නා කියන හිතවතුන්ගේ හා නෑදෑයන්ගේ ගෙවල් දොරවල්වල ද ඇවිද ඔවුන් සමඟ ‍දොඩමලු වීමටත් ආගිය කතා විමසීමටත් ඇයගේ නිවාඩු මාස 03 යොදා ගත්තා ය.
ලංකාවට පැමිණ ඇය ගත කරන කාලය තුළ දී ඇයගේ ගමන් බිමන් ගැන එක් පුද්ගලයකු වැඩි අවධානයක් යොමු කළේ මේ අතරතුරේදී ය. මඟතොටේ දී එම පුද්ගලයා ඇය දෙස අවධානයකින් බලා හිඳින බව ශකිලාට ද තේරුම් ගියා ය.
ඇය ලංකාවේ ගතකරන මාස කිහිපයේ දී එම පුද්ගලයා සමඟ ශකිලා කතාබහ කොට දැන හඳුනා ගත්තා ය. ඔහුගේ නම පැතුම් ය. පැතුම්ගේ රැකියාව වූයේ රියැදුරු සේවය යි. මේ අලුත් දැන හැඳුනුම්කම මත දෙන්නට දෙන්නාගේ විස්තර දිනෙන් දින හුවමාරු විය.
පැතුම් ශකිලාට වඩා වසර 9කින් ළාබාල වූ පුද්ගලයෙකි. ශකිලා ද පෙර විවාහයෙන් පසුව පුරුෂයකුගේ ආරක්ෂාවක් හා ආදරයක් නොමැති තැන පැතුම්ගේ පිහිට හා ආදරය පැතුවා ය.
පැතුම් ද දෙවරක් නොසිතා ශකිලාට විවාහ කරගැනීමට කැමැති විය. ඒ අනුව මොවුන් දෙදෙනා 2005 වසරේ විවාහපත් ව යුග දිවියට පිවිසියා ය.
විවාහයෙන් අනතුරුව ඔවුහු පූගොඩ ප්‍රදේශයෙන් නිවෙසක් කුලියට ගත්හ. එම නිවෙසේ සිටින ගමන් ශකිලා හා පැතුම් දෙදෙනාට දෙදෙනා අනාගත සැලැසුම් එකින් එක දිගහැරියේ ය.
ශකිලා වරින් වර විදෙස් ගත වී පැමිණීමත් සමඟ ඇය සතුව විශාල ධනස්කන්දයක් එකතුවන්නට විය. ඇයගේ රුපියල් ලක්ෂ 30ක පමණ වටිනාකමින් යුත් රත්‍රන් බඩු තොගයක් ද මරදානේ රජයේ බැංකුවක ආරක්ෂිතව තැබීමට ඈ කටයුතු කළා ය.
ඇය 2007 වසරේ නැවත විදෙස් ගතවීමට පෙර පැතුම්ට පවසා සිටියේ,
“මම රට ගිහිල්ලා සල්ලි ඔයාට එවන්නම්, මොනවා හරි හදිසියක් වුණොත් බැංකුවෙ රත්ත්‍රන් බඩු ගන්න ! ගේ හදන්න අවශ්‍ය සල්ලි මම ඔයාගේ ගිණුමට දමන්නම්” කියා ය.
ශකිලා කඩුවෙල පෞද්ගලික බැංකුවකින් පැතුම් වෙනුවෙන් වෙනම ගිණුමක් ද විවෘත කළා ය. ඉන් අනතුරුව ඇය ඇගේ රත්‍රන් බඩු පැතුම්ට අවශ්‍ය වූ විට පරිහරණය කිරීම සඳහා ඇටෝනියක් ද ලබාදුන්නේ ය.
ශකිලා 2007 වසරේ සිට 2009 වසර දක්වා වූ දෙවසර ඇතුළත පැතුම්ට නිවෙස හදා ගැනීමටත්, ඔහුගේ වියදමටත් මුදල් වරින්වර එව්වා ය. ඒ වනවිට පැතුම්ගේ බැංකු ගිණුම වෙත ඇය රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් එවා තිබුණි.
පැතුම් ද ඇය වෙත පොරොන්දු වූයේ නිවෙස කොහොමින් කොහෙම හරි හදා ගනිමු කියා ය. ඈ එතෙර සිට තමන්ගේම කියා අලුත් නිවෙසක පදිංචි වීමේ සිහිනය මැව්වා ය. ඇය 2009 වසරේ නැවත ලංකාවට පැමිණියේ පැතුම් නිවෙසේ වැඩ අවසන් කර ඇතියැයි සිතමින් ඉහේ මලක් පිපුණ ගාණට ය.
විදෙස් ගතවීමට පෙර මිල දී ගත් ඉඩමට ඈ පැමිණියා ය. ඇයගේ අහස් මාලිගා සියල්ල කඩා වැටෙන්නට වූයේ පැතුම් නිවෙසේ වැඩ අවසන් කර නැති බව දුටු විටයි. ඉඩමේ නිවෙසක සේයාවක් වැනි අසම්පූර්ණ බිත්ති කිහිපයක් පමණක් ඇය දුටුවා ය. ශෝකී මනසින් යුතුව ශකිලා ඇගේ රත්‍රන් බඩු තැන්පත් කර ඇති බැංකුව වෙත ගියේ රත්‍රන් බඩු පිළිබඳව ද සැකයක් ඇති වූ නිසා ය. ඇයගේ ඉහමොළ රත් විය. බැංකුවේ ද ඈ සතුව තිබූ එකදු රත්‍රන් බඩුවක් එහි ආරක්ෂිත ලොකරය තුළ නොවී ය. පැතුම් ඉදිරියේ ඈ දැඩි වූවා ය.
“තමුසේ මොනවද ඕයි මගෙ සල්ලි නාස්ති කරලා කළේ….? මම මහන්සියෙන් හම්බකරලා තමුසෙට සල්ලි එව්වේ මේව බලන්නද……?”
ඈවියරුවෙන් මෙන් කෑ ගැසුවාය. පැතුම්ට දෙස් දෙවොල් තිබ්බා ය. පැතුම් හා ශකිලා අතර නුරුස්සන ගතිය හා අඬදබර වැඩිවන්නට විය. ඔවුන් නිවෙසේ සිටින විටදී බහින්බස්වන ශබ්දය අහල පහළ නිවෙස්වලට ද ඇසුණේ ය.
ශකිලාගෙන් ගැලවිල්ලක් නැති තැන පැතුම් ඇය හැර දමා නිවෙසින් පිටත්ව ගියේ ය. ඔය අතරේ ශකිලාට පැතුම් ගැන අලුත් ආරංචියක් කන වැකුණේ ය. ඒ පැතුම් වෙනත් කාන්තාවක සමඟ මාලඹේ නිවෙසක ජීවත්වන බවයි.
ශකිලා එතැනට පැතුම් සොයා ගොස් දොස්මුර දැම්මා ය. පැතුම්ට ද අවශ්‍ය වී තිබුණේ වැරැද්ද පිළිගෙන ඇයගෙන් සමාව ගෙන නැවත සමඟි වීමට ය. සති දෙකක් යෑමෙන් අනතුරුව දෙදෙනා නැවත සමඟි විය.
ඉන් අනතුරුව ඔවුන් දෙපොළ පූගොඩ සිටි කුලී නිවෙස මාරු කොට කඩවත ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගත්තේ ය. එම නිවෙසේ ජීවත්වන ගමන් ඔවුහු සපුගස්කන් ද මාබිම ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ නිවෙස සහිත ඉඩම රුපියල් ලක්ෂ 33කට විකුණා දැම්මෝ ය.
එම මුදලෙන් ඔවුන් 2010.04.01 දින පිළියන්දල ප්‍රදේශයෙහි තවත් නිවෙසක් මිලදී ගත්හ. ගෙවල් ගැනීම හා විකිණීමටත් ජීවත්වීමට තවත් ගෙවල් කුලියට ගැනීම තරම් මොවුන් දෙදෙනාට වෙනත් දෙයක් තිබුණේ නැත.
පැතුම් ශකිලාව විවාහ කරගැනීමේ ඒකායන අරමුණ වී තිබුණේ ඔහුට ඇයගේ මාර්ගයෙන් ඉතාලියට පැන ගැනීමට අවස්ථාවක් උදාකර ගැනීමට ය. තමන් ඉතාලියට රැගෙන යෑමට පොරොන්දු වී ශකිලා එය පෙසෙක දැමීම ගැන ද පැතුම් නිතර නිතර කල්පනා කරන්නට විය. ශකිලාට ඉතාලියේ තවත් විවාහයක් තිබෙන බවට ඔහුට ලැබුණු ආරංචියකට අනුව පැතුම් ඇයව සැකකරන්නට විය.
අවසානයේ පැතුම්ගේ එකම පරමාර්ථය වූයේ ශකිලාව මරා දමා දේපොළ තමන්ට පවරා ගැනීමට ය.
ඔවුන් පිළියන්දලින් මිලදීගත් නිවෙස දෙමහල් නිවෙසක් විය. එම නිවෙසේ ඉහළ මාලයෙන් තල්ලු කර ශකිලාව ඝාතනය කිරීමට පැතුම් සැලසුම් කළේ තමා පිට එම අපරාධය නොඑන ලෙසට ය.
ශකිලා විදෙස් ගතවීමත් සමඟ නිතර නිතර මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි තැනැත්තියක බව ද ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත දැනගන්නට ලැබුණි. ඒ අනුව 2010.04.21 වැනි දින ඇය පහළ මාලයේ තනිව මත්පැන් පානය කරමින් සිටියේ පැතුම්ගේ වෙනස් වීම පිළිබඳ ළතැවෙමිනි. එදින ඇය උඩු මහලෙන් තල්ලු කර මරා දැමීමට සුදුසු දිනයකැයි පැතුම් සිතුවේ ය.
එදින පැතුම් ද උඩු මහලේ සිට මධුවිත තොලගෑවේ ශකිලා මරු තුරුලට යැවීමට අවස්ථාවක් එනතුරු කල් බලමිනි. මධුවිතින් සූර් වූ පැතුම්ට අවසානයේ එතැනම නින්ද ගියේ ය.
පහළ මාලයේ සිටි ශකිලා ද අධිකව මත්පැන් පානය කර සිටියා ය. පැතුම් මොනවාද කරන්නේ කියා සොයා බැලීමට පැතුම් වෙත පැමිණි ඇය දුටුවේ ඔහු ඇඳ මත නිදා සිටින අයුරුය.
ඇය තම කාරමය වෙත පැමිණි ශබ්දය ඇසී පැතුම් එකවර අවදි විය. මරු විකාරෙන් මෙන් ඔහු ශකිලාගේ ඇඟට පැන පයින් ගසා ඇයගේ බෙල්ල තදින් මිරිකුවේ ය.
පැතුම් සමඟ පොර බැදූ ඈ ඔහුගෙන් මිදී කෑ ගසාගෙන කාමරයෙන් එළියට පැන වැනි වැනී දුවන්නට ගත්තා ය.
පඩිපෙළ මතින් ඇය පහළට දිව යද්දී පැතුම් ඇය වෙත කඩා පැන බෙල්ලෙන් අල්ලා බිත්තිය දිගේ උස්සා පහළට අත ඇරියේ ය.
හුස්ම ගැනීමට අපහසුව ඇය බිත්තිය දිගේ බිමට රූරා වැටිණි. ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගත් පැතුම් ඇයව තරප්පු පෙළේ බිම මත ඇදගෙන පහළට ගෙන ආවේය. නැවතත් ඇය බිම දමා ඇගේ බෙල්ල මිරිකුවේ ය. එවර ඔහු ඇගේ අවසන් හුස්ම පොද පිටවෙන තුරුම ශකිලාගේ බෙල්ල තදින් මිරිකා ගනිමින් සිටියේ ය.
තමන් සැලසුම් කර ඇති ආකාරයට ශකිලා මරා දැමීමට ඔහුට නොහැකිවීම ගැන ඔහු බිය වූයේ ය. අපරාධයේ වගකීම තමා වෙත පැටවෙන බව ඔහු දන්නා බැවින් ඇගේ මළ සිරුර වළ දැමීමට ඔහු කටයුතු කළේ ය. වතුවල කුලී වැඩ කරන ’කොටා’ නම් කුලීකරුවෙකු ලවා නිවෙසේ මිදුලේ කුණු වළක් ඔහු කපාගත්තේ ය. අවසානයේ ඔහු ශකිලාගේ දෑත් ගැට ගසා බෙට් ෂීට් එකක ඇගේ මළ සිරුර ඔතා ඇය වළ දැම්මේ ය.
ශකිලාව මරා දැමීමෙන් පසුව ඔහු දින දහයක් පමණ අතුරුදන්ව සිටියේ ය. ඉන් අනතුරුව නැවත ඔවුන් සිටි නිවෙසට පැමිණි පැතුම් ශකිලාගේ අස්සන හොරෙන් ගසා ඇටෝනියක් මඟින් නීතිඥවරයකු මාර්ගයෙන් ශකිලාගේ නිවෙස ඔහු නමට පවරා ගත්තේ ය. තම නමට පවරාගත් නිවෙස රුපියල් ලක්ෂ 40ක මුදලකට ඔහු නැවත විකුණා දැමුවේ ය.
එම මුදලෙන් ඔහු කහතුඩුව ප්‍රදේශයෙන් නිවෙසක් ලක්ෂ 22ක මුදලකට මිල දී ගෙන ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් ද ඉතුරු මුදලින් ගත්තේ ය. ශකිලාගේ මිනීමැරුම ඔහුට නිතර වධ දෙන්නට විය. එම මිනී මැරුම අසුවේ යැයි යන බයට ඔහු එම නිවෙස හා වෑන් රථය ද නැවත විකුණා දමා තමාගේ බැංකු ගිණුමට එම මුදල් බැර කරගෙන රාගම ප්‍රදේශයෙන් නිවෙසක් කුලියට ගත්තේ ය.
දින සති මාස ගණන් ගෙවී යද්දී ශකිලාගේ පුතුන් දෙදෙනා ලංකාවට පැමිණියේ මාස ගණනක් පුරාවට තම මවගෙන් කිසිදු ආරංචියක් නැති වූ නිසා ය. මවගේ හා ඇගේ ස්වාමියාගේ අතුරුදන් වීම පිළිබඳ ඔවුන් දෙදෙනා කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා වෙත පැමිණිලි කිරීමට කටයුතු කළහ. ඒ අනුව මේ සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතාට හා උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට භාර කළේය.
එම පොලිස් නිලධාරීහු ඔවුන් දෙපොළ ජීවත්ව සිටි නිවෙසට පිටත්ව ගියහ. කිසිවෙකු නිවෙසේ නොමැති හෙයින් අහල පහළ නිවෙස්වලින් ඒ පිළිබඳ විමසීය. ඉන් අනතුරුව එම නිවෙස මිලදී ගත් පුද්ගලයා සොයා පොලිසිය පිටත් විය. ඔහු මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
මෙම ව්‍යාපාරිකයා තමන් පැතුම් හා ශකිලා විසූ පිළියන්දල නිවෙස මිලදී ගත් ආකාරය පිළිබඳ පොලිසියට සියලු තොරතුරු අනාවරණය කළේය. නිවෙස මිලදී ගැනීමේදී පැතුම් වෙත මුදල් ලබා දුන් ආකාරය පිළිබඳ පොලිසිය විමර්ශනයට ලක් කළේය.
පැතුම්ගේ හා ශකිලාගේ විවාහ සහතික හා ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබාදී ඇටෝනි බලපත්‍රය ද පෙන්වා මෙම නිවෙස විකිණීමට පැතුම් කටයුතු කර ඇති බව පොලිසියට අනාවරණය විය. කසාද සහතිකයේ හා ඇටෝනි පත්‍රයේ ශකිලාගේ අස්සන එකට එකක් වෙනස් බව පොලිසිය දැනගත්තේ ය.
ඒ අනුව පොලිස් නිලධාරීහු පැතුම්ගේ ජාතික හැඳුනුම්පතේ නමට අදාළව බැංකු ගිණුම්වල බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට කටයුතු කළහ. ඒ මඟින් පැතුම් රුපියල් ලක්ෂ 65ක පමණ මුදලක් වරින් වර අරගෙන ඇති ආකාරය සඳහන් වී තිබිණි. ඔහු මුදල් රැගෙන ඇති බැංකු ශාඛා පිළිබඳ සොයා බැලීමේදී පොලිසියට අනාවරණය වූයේ ඔහු ජා-ඇළ ප්‍රදේශයේ බැංකු ශාඛාවක් මඟින් වැඩි වාර ගණනකදී මුදල් ගනුදෙනු කර ඇති බවය.
සැකකරුගේ ජාතික හැඳුනුම්පතේ වූ ලිපිනය සොයාගිය පොලිස් නිලධාරීහු ඔහුගේ නිවෙසට ගොස් සැකකරුගේ වැඩිමහල් සහෝදරියගෙන් ප්‍රශ්න කොට ඇයගේ ජංගම දුරකතනයේ සෑම ඇමැතුමක් ගැනම විශේෂ පරීක්ෂණයකට ලක් කළහ.
එම අවස්ථාවේදී ජා-ඇළ ප්‍රදේශයේ සැකකරුගේ සහෝදරියගේ ජංගම දුරකතනයට පැමිණි ඇමැතුම් ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ එම නිලධාරීන්ට සැකකරු එම අවස්ථාව වන විට ජීවත්ව සිටින නිවෙස සොයා ගැනීමට හැකිවිය.
සැකකරු සැඟව සිටින නිවෙස පොලිසිය වැටලූ අවස්ථාවේදී ඔහු එම නිවෙස අයිතිකරුට භාරදී පිටත්ව ගොස් තිබිණි. සැකකරු පිළිබඳ නිවෙසේ අයිතිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කළේය. එවිට නිවෙස් හිමියා පැවැසුවේ ගැහැනු කෙනකු මෙම නිවෙසේ නොසිටි බවත් පැතුම් පමණක් නිවෙසේ මාස 06ක් පමණ සිටි බවත් ය.
පැතුම් එම නිවෙසින් පිටත්ව යන විටදී ඔහුගේ නිවෙසේ බඩු පටවාගෙන ගිය ලොරිය පිළිබඳ එම නිවෙස් හිමියා පොලිසිය වෙත තොරතුරු ලබා දුන්නේය. ඒ අනුව ලොරි රථයේ රියැදුරු සොයා පිටත්ව ගිය පොලිස් නිලධාරීහු සැකකරු පිළිබඳ ඇත්ත විස්තරය රියැදුරා වෙත පැවසූහ.
සැකකරු බඩු බාහිර ආදිය රැගෙන පිටත්ව ගොස් තිබුණු නිවෙස පිළිබඳ තොරතුරු ලොරි රියැදුරා පොලිසියට ලබා දුන්නේ ය. ජා-ඇළ ප්‍රදේශයේම තුඩැල්ලේ පල්ලිය අසල නිවෙසක සැඟව සිටියදී පොලිසිය දැඩි විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත්තේය.
ශකිලාට මොකද වුණේ යැයි පොලිසිය ප්‍රශ්න කර සිටියදී ඔහු පැවැසුවේ ඇය රට ගිය බවය. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඇය රටින් පිටත්ව ගොස් ඇත්දැයි පරීක්ෂා කර බැලීමේදී ඇය ලංකාවෙන් පිටත්ව ගොස් තිබුණේ නැත.
අවසානයේ පැතුම් ශකිලා මරා දැමූ බවට වරද පිළිගත්තේය.
කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න හා උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන්වරුන් වන ලක්ෂ්මන් (28415), ප්‍රසන්න (56958), පතිරණ (42156), කරුණාතිස්ස (51885) හා පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රසන්න (40248), විපුල (51857), ගිහාන් (72989), ලලන්ත (72338) යන නිලධාරීන් විසින් මෙම අපරාධයේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

No comments:

Post a Comment